Thursday, December 23, 2010

ආදර කතාවක්

     රයිමලි-අගා ඔහු ස්ටෙප්ස් භූමියේ ජීවත් වූ කාලයේ ඉතා ප්‍රසිද්ධ ගායකයෙකුව සිටියේය. ඔහුට ඒ කීර්තිය අත් වුයේ තරුණ අවදියේදීමය. ඒ ඔහුගේ තාලයන් ශ්‍රවණය කළ මිනිසුන් මුවින් මුව එය අසල්වැසි අයිලයන් කරා මෙන්ම සංක්‍රමණික එඩේර ගෝත්‍ර වෙතද රැගෙන ගිය බැවිනි. ඒ අවදියේ උන් දිගිට්වරු ඔහුගේ මේ ගීතය නිතරම ගායනා කිරීමට හුරුව උන්හ. 

කඳු මුදුනේ සිට ගලනා
නදී තෙරට ලං වූ විට
සීතල ජලයේ අරුමය
දැනගනු ඇත එක සැනෙකින් 
පවසින් දුක් විදිනා අසු

එපරිද්දෙන් උදේ මෙමා
අසු පන්නාගෙන සපැමිණ
නැමී සාදලෙන් පහතට සිපගත් විට නුඹේ දෙඅදර 
හදුනා ගන්නෙමි සැණෙකින්
ජීවිතයේ අමා මිහිර 

               එසේම කිසිදිනෙක ඔහුගෙන් වෙන්ව සිටිනු දැකිය නොහැකි වූ අසෙකුද සිටියේය. ඌ වනාහී සරලා නම් වූ පුල්ලි වැටුන රන් පැහැ අශ්වයෙකි. රයිමලි-අගා ඉබාගාතේ හමන සුළගක් මෙන් විය. ඔහුගේ බිරින්දෑවරු ඉවසීම සිදී ඔහු හැර දමා ගියෝය. කාලය ගතවී ගියේය. හුදකලාවේ අභිමානවත්ව වැවුණ තුඟු විසල් පොප්ලර් රුකක් වියළෙන පරිද්දෙන් රයිමලි-අගා සිය දිවියේ ශීත සමය කරා ළඟා වෙමින් සිටියේය. 
              ඔහුගේ ජීවිතයේ හැට එක්වෙනි වියේදී එක මොහොතකදී අහම්බයක් හටනොගන්නට රයිමලි-අගාගේ ජීවිතය සමාදානයෙන් ගෙවෙන්නට ඉඩ තිබූ බවට දෙවියන් වහන්සේ සාක්ෂි දරුවාවේ. එක දිනෙක ඔහුගේ කුඩාරම ඉදිරිපිට සිය ළය මඩලට දොම්බරාවක් තුරුළු කරගත් එකුන්විසි යුවතියක පෙනී සිටියාය. 

"නුඹ කවුද? නුඹ මෙහි ආවේ කොහි සිටද?" රයිමලි-අගා කෑ ගෑවේ හිඳ සිටි අසුනින් නැගිටිමිනි. "නුඹේ නම කුමක්ද?" 
"මගේ නම බෙගිමායි"

              ඉතින් ඉරණම තීරණය විය. ඔවුහු පෙමින් බැදුනොය. වෙන්ව දිවි ගෙවන්නට අපොහොසත් දෙදෙනා දින දෙකක් ඉක්බිති සල්පිල දින හමුවීමට පිළින දී වෙන්වුහ. රයිමලි-අගා තම කුඩාරම වෙත ගියේය. ඔහු එනතුරු එහි අනපේක්ෂිත වූ බොහෝ දෑ බලා සිටි බව ඔහු නොදත්තේය. ඉදින් කුඩාරමට ඇතුළු වූ ඔහුට එතුළ අඩ කවයක ආකාරයට ගෝත්‍රයේ වැඩිහිටියන් හිදගෙන සිටින බවත් මදක් පසෙකට වන්නට සිය සොහොයුරා වූ අබ්දිල් ඛාන් සිටින බවත් දක්නට ලැබිණ. 

"උඹ දැන් මෙතනදී අපිට දිවුරුමක් දෙන්න ඔනෑ අයෙත් කිසිම දවසක ගී ගයන්නේ නැති බවට, කිසිම දවසක ඒ කෙල්ල දකින්නේ නැති බවට. දිවුරපන් දැන්!" සොහොයුරා ගිගිරුවේය.
"බෑ, මම කීයටවත් එසේ කරන්නේ නෑ." ඔහුගේ පිළිතුර විය.
"එකත් එහෙමද? මේ මිනිහට පිස්සු! අපි මොහුව පාලනය කළ යුතුයි. මොහු අපේ ගෝත්‍රයට නිගා නොදෙන තැනට වගබලාගත යුතුයි. කාලකන්ණි රයිමලි-අගා දැන් උඹ මේ සියල්ල බලා ඉදපන්. සියල්ලට වගකිව යුත්තේ උඹයි. පලයල්ලා! අර වෙළඹ-සරලා අරන් වරෙල්ලා!"

                 එසේ බෙරිහන් දෙන ගමන් අබ්දිල් ඛාන් සිය සොහොයුරා අතේ වූ දොම්බරාව උදුරා ගත්තේය. දොම්බරාව බිමට විසි කළ ඔහු හරියට උමතු ගොනෙකු සිය හාම්පුතා පාගා දමන්නාක් මෙන් එය පාගා දැමීය. පිරිසක් වහා දිවගොස් අසු රැගෙන ආවෝය. 

"ඔය සාදලය කඩා දාපල්ලා, එක මෙහෙට විසි කරපල්ලා!

          පොරවක් ගත් අබ්දිල් සාදලය කුඩා කැබලි වලට කපා දැමීය. මේ අතර බියෙන් පස්සට අදින්නට වූ සරලා, තම ඉරණම වටහාගත් කලෙක මෙන් එහෙමම බිම දිගා වී හොබුරාණේ පටිය සපන්නට විය. 

"උඹ හිතාගෙන ඉන්නේ සල්පිලට මේ අශ්වයාගේ පිටේ යන්න නේද? එහෙනම් දැන් බලපන්!"

                 එක නිමේෂයකින් නෑදෑයින් පැන සරලා බිම පෙරළා බැඳ දැමුහ. සිය අතක ඇඟිළි පහම අසුගේ නාසය තුළට එබූ අබ්දිල්, අසුගේ හිස පසුපසට සිටින සේ නහය තදින් ඇද්දේ උගේ අසරණ ගෙලට පිහිය තබා එක්වරම ඇද දැමීය. සරලාගේ ලෙයින් හා විලාපයෙන් හාත්පස සෑමදෙයම වැසී යද්දී අබ්දිල් හා පිරිස එක්ව රයිමලි අගා බර්ච් ගසක බැඳ දැමීය. එසේ බැඳ දින සතක් ස්ටෙප්ස් කතරේ ජලය  පවා නොමැතිව අනෙක වේදනා විදි තැන රයිමලි-අගාගේ කන වැටුණේ ඇගේ ගෝත්‍රිකයන් එක්ව බෙගිමායි-තම පෙම්වතිය සල්පිල මැද ඇය නිරුවත් කොට ගල් ගසා මරා දැමු බවයි. 
රයිමලි-අගා ඉරී වරහැලිව ගිය ඇදුමින්, දෑත් පිටිතල හයා බර්ච් ගසට බැඳ දැමු අයුරින්ම අවසන් හුස්ම හෙළීය.
       

අවසන් විලාපය..

සියලු දෙනා එක්ව මා පරීක්ෂා කර හමාරය.
දැන් මා මා වෙතම ගල් ගසා ගනිමි.
දෑතින් හිස කෙස් ඇද කඩා ගනිමි.
පපුවට පහර දෙමින් විලාප නගමි.
මාගේ නියවලින්ම මුහුණ සූරා ගනිමි.
මාගේ නහරවැල්.. මස් වැදලි දසත විසුරුවා හරිමි.
එහෙත් විලාපය නිහඬයි.
මරණයේ සෙවනැල්ල මා අසලයි.  

කතර..

පෙමක් නොලබන හද..
තලාවකි මිලින වූ..
සෝ බරින් වැසී ගිය..
කතරකි ඝන අදුරු වූ..
කිසිදා මලක් නොපිපෙනා..

Sunday, December 19, 2010

ස්ත්‍රී..

හැම මොහොතකම කාට හරි අයිති වෙලා..
සිහිල් සුළං පොදක් ගහක දළු අතර දැවටෙනවා වගේ,
අයිතිකාරයාගේ ආත්මය පුරා සැරිසරන්න පෙරුම් පුරනවා.. 

Monday, December 13, 2010

අළු..

ජීවිතය අහම්බයන්ගෙන් පිරිලා.. පහුගිය අවුරුද්දක කාලය ඇතුළත මගේ ජීවිතය මුළුමනින්ම වෙනස් වෙලා.. අහම්බයන් ගොඩක් මගේ ජීවිතේට මටත් හොරෙන් ඇවිත්.. කිසිම දෙයක් මම බලාපොරොත්තු වුණේ නෑ. ඒත් ඒ දේවල් මාව හොයාගෙන ඇවිත් මගේම ජීවිතේ බවට පත්වෙලා.  මම මගේ ජීවිතයේ වැඩියෙන්ම ආඩම්බර වුණු, වැඩියෙන්ම ආදරය කරපු, වැඩියෙන්ම හිනහ වුණු, වැඩියෙන්ම දුක් වුණු අවුරුද්ද මේක.. කාටවත් මේ වගේ එකිනෙකට වෙනස් හැගීම් ගොඩක් එක මොහොතේම දරාගෙන ඉන්න පුළුවන් කියල මේ අවුරුද්ද ගතවෙනකල්ම මම දැනගෙන හිටියේ නෑ. ඒත් මේ අවුරුද්ද මගේ ජීවිතේට ලොකු පන්නරයක් වුණා. ජීවිතේ මෙතෙක් කල් හදුනගෙන නොහිටපු ගොඩක් දේ මට මුහුණටම මුණ ගැහුණා. මේ ලෝකේ විවිධාකාර මිනිස්සු ඉන්න බව පළවෙනි වතාවට මම වටහ ගත්තා. ලෝකෙ මම හිතපු තරම් ලස්සන නෑ. මිනිස්සු මම හිතපු තරම් අහිංසක නෑ. ඒත් ලෝකෙ නරක මිනිස්සු කියල අය නෑ, හොඳ මිනිස්සුත් නෑ. හැමෝම සාමාන්‍යයි. මෙතෙක් කල් මම ලෝකෙ දැක්කේ සුදු පාටින්.. එහෙමත් නැත්තම් කළු පාටින්.. ඒත් ලෝකෙ කිසිම දෙයක් කලුවත්, සුදුවත් නෑ. මේ ලෝකෙ අළු පාටයි.. ජීවිතේ අළු පාටයි.. හැමදෙයක්ම අළු පාටයි..