Sunday, June 23, 2013

ආදරයේ දේශපාලනය

සමාජවාදී දෘෂ්ටි  මායාවෙන් 
ඒකාධිපතීත්වය මුවා කර 
දෙපාර්ශවය 
බල අරගලයක 

මානව හිතවාදයෙන් ඇරඹි සන්ධානය
කුඩුපට්ටම් වී යන හැටි 
මමත්වය රජ වූ කල 

පාලක පක්ෂය හා විපක්ෂය 
අතර දෝලනය වී මැකී යන  
අසරණ ප්‍රජාතන්ත්‍රවාදී ආදරය  

Friday, May 3, 2013

අළු පැහැ වළා ගුලි වී 
අපේක්ෂාවේ රත් ගිනි දළු වසන් කළ 
මන්දාරම් හැන්දෑව 

විශ්වාසයේ හිරු බැස ගොස් 
හිස් වී ඇත ජීවිත අහස් තලය 
ප්‍රේමයේ සියොතුන් 
වෙනත් අහසක් සොයා 
ඈතින් ඈතට පියා සලනා හැටි 

හිරු උදා වේ ද නැවතත් 
හෙට දින 
හුදෙකලාවේ අඳුරු වළා දෙස බලා 
සිතමි මම 

Monday, February 4, 2013

නිදහස!

තවමත් ඇද හැලෙන 
අනෝරා වැස්ස මැද 
තෙමුණු හිත ගුලිකරන් 
ඇවිදින විට 

ඈත අහසේ අළු වළා මැද 
රන් පාටින් දිලෙන 
පුංචි හිරු කිරණක් දුටුවා 

තව දුරයි එතැනට 
කටු කොහොල් මග දිග 
ඒත් යා යුතුමැයි 
විඩාබර හිත කීවා