Thursday, December 23, 2010

ආදර කතාවක්

     රයිමලි-අගා ඔහු ස්ටෙප්ස් භූමියේ ජීවත් වූ කාලයේ ඉතා ප්‍රසිද්ධ ගායකයෙකුව සිටියේය. ඔහුට ඒ කීර්තිය අත් වුයේ තරුණ අවදියේදීමය. ඒ ඔහුගේ තාලයන් ශ්‍රවණය කළ මිනිසුන් මුවින් මුව එය අසල්වැසි අයිලයන් කරා මෙන්ම සංක්‍රමණික එඩේර ගෝත්‍ර වෙතද රැගෙන ගිය බැවිනි. ඒ අවදියේ උන් දිගිට්වරු ඔහුගේ මේ ගීතය නිතරම ගායනා කිරීමට හුරුව උන්හ. 

කඳු මුදුනේ සිට ගලනා
නදී තෙරට ලං වූ විට
සීතල ජලයේ අරුමය
දැනගනු ඇත එක සැනෙකින් 
පවසින් දුක් විදිනා අසු

එපරිද්දෙන් උදේ මෙමා
අසු පන්නාගෙන සපැමිණ
නැමී සාදලෙන් පහතට සිපගත් විට නුඹේ දෙඅදර 
හදුනා ගන්නෙමි සැණෙකින්
ජීවිතයේ අමා මිහිර 

               එසේම කිසිදිනෙක ඔහුගෙන් වෙන්ව සිටිනු දැකිය නොහැකි වූ අසෙකුද සිටියේය. ඌ වනාහී සරලා නම් වූ පුල්ලි වැටුන රන් පැහැ අශ්වයෙකි. රයිමලි-අගා ඉබාගාතේ හමන සුළගක් මෙන් විය. ඔහුගේ බිරින්දෑවරු ඉවසීම සිදී ඔහු හැර දමා ගියෝය. කාලය ගතවී ගියේය. හුදකලාවේ අභිමානවත්ව වැවුණ තුඟු විසල් පොප්ලර් රුකක් වියළෙන පරිද්දෙන් රයිමලි-අගා සිය දිවියේ ශීත සමය කරා ළඟා වෙමින් සිටියේය. 
              ඔහුගේ ජීවිතයේ හැට එක්වෙනි වියේදී එක මොහොතකදී අහම්බයක් හටනොගන්නට රයිමලි-අගාගේ ජීවිතය සමාදානයෙන් ගෙවෙන්නට ඉඩ තිබූ බවට දෙවියන් වහන්සේ සාක්ෂි දරුවාවේ. එක දිනෙක ඔහුගේ කුඩාරම ඉදිරිපිට සිය ළය මඩලට දොම්බරාවක් තුරුළු කරගත් එකුන්විසි යුවතියක පෙනී සිටියාය. 

"නුඹ කවුද? නුඹ මෙහි ආවේ කොහි සිටද?" රයිමලි-අගා කෑ ගෑවේ හිඳ සිටි අසුනින් නැගිටිමිනි. "නුඹේ නම කුමක්ද?" 
"මගේ නම බෙගිමායි"

              ඉතින් ඉරණම තීරණය විය. ඔවුහු පෙමින් බැදුනොය. වෙන්ව දිවි ගෙවන්නට අපොහොසත් දෙදෙනා දින දෙකක් ඉක්බිති සල්පිල දින හමුවීමට පිළින දී වෙන්වුහ. රයිමලි-අගා තම කුඩාරම වෙත ගියේය. ඔහු එනතුරු එහි අනපේක්ෂිත වූ බොහෝ දෑ බලා සිටි බව ඔහු නොදත්තේය. ඉදින් කුඩාරමට ඇතුළු වූ ඔහුට එතුළ අඩ කවයක ආකාරයට ගෝත්‍රයේ වැඩිහිටියන් හිදගෙන සිටින බවත් මදක් පසෙකට වන්නට සිය සොහොයුරා වූ අබ්දිල් ඛාන් සිටින බවත් දක්නට ලැබිණ. 

"උඹ දැන් මෙතනදී අපිට දිවුරුමක් දෙන්න ඔනෑ අයෙත් කිසිම දවසක ගී ගයන්නේ නැති බවට, කිසිම දවසක ඒ කෙල්ල දකින්නේ නැති බවට. දිවුරපන් දැන්!" සොහොයුරා ගිගිරුවේය.
"බෑ, මම කීයටවත් එසේ කරන්නේ නෑ." ඔහුගේ පිළිතුර විය.
"එකත් එහෙමද? මේ මිනිහට පිස්සු! අපි මොහුව පාලනය කළ යුතුයි. මොහු අපේ ගෝත්‍රයට නිගා නොදෙන තැනට වගබලාගත යුතුයි. කාලකන්ණි රයිමලි-අගා දැන් උඹ මේ සියල්ල බලා ඉදපන්. සියල්ලට වගකිව යුත්තේ උඹයි. පලයල්ලා! අර වෙළඹ-සරලා අරන් වරෙල්ලා!"

                 එසේ බෙරිහන් දෙන ගමන් අබ්දිල් ඛාන් සිය සොහොයුරා අතේ වූ දොම්බරාව උදුරා ගත්තේය. දොම්බරාව බිමට විසි කළ ඔහු හරියට උමතු ගොනෙකු සිය හාම්පුතා පාගා දමන්නාක් මෙන් එය පාගා දැමීය. පිරිසක් වහා දිවගොස් අසු රැගෙන ආවෝය. 

"ඔය සාදලය කඩා දාපල්ලා, එක මෙහෙට විසි කරපල්ලා!

          පොරවක් ගත් අබ්දිල් සාදලය කුඩා කැබලි වලට කපා දැමීය. මේ අතර බියෙන් පස්සට අදින්නට වූ සරලා, තම ඉරණම වටහාගත් කලෙක මෙන් එහෙමම බිම දිගා වී හොබුරාණේ පටිය සපන්නට විය. 

"උඹ හිතාගෙන ඉන්නේ සල්පිලට මේ අශ්වයාගේ පිටේ යන්න නේද? එහෙනම් දැන් බලපන්!"

                 එක නිමේෂයකින් නෑදෑයින් පැන සරලා බිම පෙරළා බැඳ දැමුහ. සිය අතක ඇඟිළි පහම අසුගේ නාසය තුළට එබූ අබ්දිල්, අසුගේ හිස පසුපසට සිටින සේ නහය තදින් ඇද්දේ උගේ අසරණ ගෙලට පිහිය තබා එක්වරම ඇද දැමීය. සරලාගේ ලෙයින් හා විලාපයෙන් හාත්පස සෑමදෙයම වැසී යද්දී අබ්දිල් හා පිරිස එක්ව රයිමලි අගා බර්ච් ගසක බැඳ දැමීය. එසේ බැඳ දින සතක් ස්ටෙප්ස් කතරේ ජලය  පවා නොමැතිව අනෙක වේදනා විදි තැන රයිමලි-අගාගේ කන වැටුණේ ඇගේ ගෝත්‍රිකයන් එක්ව බෙගිමායි-තම පෙම්වතිය සල්පිල මැද ඇය නිරුවත් කොට ගල් ගසා මරා දැමු බවයි. 
රයිමලි-අගා ඉරී වරහැලිව ගිය ඇදුමින්, දෑත් පිටිතල හයා බර්ච් ගසට බැඳ දැමු අයුරින්ම අවසන් හුස්ම හෙළීය.
       

අවසන් විලාපය..

සියලු දෙනා එක්ව මා පරීක්ෂා කර හමාරය.
දැන් මා මා වෙතම ගල් ගසා ගනිමි.
දෑතින් හිස කෙස් ඇද කඩා ගනිමි.
පපුවට පහර දෙමින් විලාප නගමි.
මාගේ නියවලින්ම මුහුණ සූරා ගනිමි.
මාගේ නහරවැල්.. මස් වැදලි දසත විසුරුවා හරිමි.
එහෙත් විලාපය නිහඬයි.
මරණයේ සෙවනැල්ල මා අසලයි.  

කතර..

පෙමක් නොලබන හද..
තලාවකි මිලින වූ..
සෝ බරින් වැසී ගිය..
කතරකි ඝන අදුරු වූ..
කිසිදා මලක් නොපිපෙනා..

Sunday, December 19, 2010

ස්ත්‍රී..

හැම මොහොතකම කාට හරි අයිති වෙලා..
සිහිල් සුළං පොදක් ගහක දළු අතර දැවටෙනවා වගේ,
අයිතිකාරයාගේ ආත්මය පුරා සැරිසරන්න පෙරුම් පුරනවා.. 

Monday, December 13, 2010

අළු..

ජීවිතය අහම්බයන්ගෙන් පිරිලා.. පහුගිය අවුරුද්දක කාලය ඇතුළත මගේ ජීවිතය මුළුමනින්ම වෙනස් වෙලා.. අහම්බයන් ගොඩක් මගේ ජීවිතේට මටත් හොරෙන් ඇවිත්.. කිසිම දෙයක් මම බලාපොරොත්තු වුණේ නෑ. ඒත් ඒ දේවල් මාව හොයාගෙන ඇවිත් මගේම ජීවිතේ බවට පත්වෙලා.  මම මගේ ජීවිතයේ වැඩියෙන්ම ආඩම්බර වුණු, වැඩියෙන්ම ආදරය කරපු, වැඩියෙන්ම හිනහ වුණු, වැඩියෙන්ම දුක් වුණු අවුරුද්ද මේක.. කාටවත් මේ වගේ එකිනෙකට වෙනස් හැගීම් ගොඩක් එක මොහොතේම දරාගෙන ඉන්න පුළුවන් කියල මේ අවුරුද්ද ගතවෙනකල්ම මම දැනගෙන හිටියේ නෑ. ඒත් මේ අවුරුද්ද මගේ ජීවිතේට ලොකු පන්නරයක් වුණා. ජීවිතේ මෙතෙක් කල් හදුනගෙන නොහිටපු ගොඩක් දේ මට මුහුණටම මුණ ගැහුණා. මේ ලෝකේ විවිධාකාර මිනිස්සු ඉන්න බව පළවෙනි වතාවට මම වටහ ගත්තා. ලෝකෙ මම හිතපු තරම් ලස්සන නෑ. මිනිස්සු මම හිතපු තරම් අහිංසක නෑ. ඒත් ලෝකෙ නරක මිනිස්සු කියල අය නෑ, හොඳ මිනිස්සුත් නෑ. හැමෝම සාමාන්‍යයි. මෙතෙක් කල් මම ලෝකෙ දැක්කේ සුදු පාටින්.. එහෙමත් නැත්තම් කළු පාටින්.. ඒත් ලෝකෙ කිසිම දෙයක් කලුවත්, සුදුවත් නෑ. මේ ලෝකෙ අළු පාටයි.. ජීවිතේ අළු පාටයි.. හැමදෙයක්ම අළු පාටයි..  

Tuesday, September 21, 2010

ළඟ එන සිසිරය

ළඟ එන සිසිරය කියාදෙවි..
බලාපොරොත්තුව සීතලට ගල්වුනත්.. 
ආදරය තුෂරබිඳු එක්ක ඈතට පාවෙලා ගියත්..
මරණයේ එළිපත්ත ළඟ ඉඳගෙන ජීවිතය අයදින..
දුප්පත් කෙල්ලක් ගැන..

සීතලට මිදුණු කඳුළු කැට හිතේ ගුළිකරන්.. 
හිරිවැටුණු හිම කම්මුල් සිපගන්න..
නිදිගැනුණු ආත්මය පුබුදන්න..
ආදරයේ ගිම්හාන සුළං පොදක් එනකල් බලාගෙන ඉන්න..
මල් කෙල්ලක්.. 

Saturday, July 10, 2010

මගේ සඳ ඔබ..

රුවල් ඉරීගිය නෞකාවේ..
නියමුවානෙනි,
විශ්වයම නුඹයි මට..
අනන්තයි නුඹ මට..

නොනිමි උත්සාහය..

නිමක් නැති කලක් පුරා 
හැපි හැපී නිතොරව
මොළොක් කරන්නට ගල්පරයක්
රළක් දැරූ  වෙහෙසක්..!

Wednesday, June 30, 2010

අවසන් දෙබස

ඔබ:   කවුද ඔබ..?
මම:   කවුරුත්ම නෙමෙයි මම, අතරමං වූ ආත්මයක්..
ඔබ:   ඔබේ ආත්මය ලස්සනයි.
මම:   නෑ. මම තවමත් හොය හොයා ඇවිදිනවා, මගේ 
         ආත්මය.
ඔබ:   මමත් එහෙමයි. අවුරුදු ගානක් ඇවිදලා මට හරි 
         මහන්සියි.
මම:   තනිවම හොයල මටත් මහන්සියි. කාගෙහරි 
         උරපත්තක් තියෙනවනම්, ටිකක් හිස තියාගෙන 
         ගිමන් හරින්න..               
ඔබ:   ............................
මම:   කොහෙද ඔබ..? 
ඔබ:   ............................

Sunday, June 27, 2010

මතකයන්..

කාටවත් පුලුවනිද කාගෙවත් මතකයන් සොරාගන්න..
සමහරුන්ට අනුව නම් පුළුවනි... ඒත් සමහරු කියන්නේ කාගෙවත් මතක සොරාගන්න තරම් කාටවත් ශක්තියක් නෑ කියල. මිනිස්සු මට චෝදනා කරනවා මම මතකයන් සොරාගන්නියක් කියල. ඇත්තද ඒක..  මම විටින් විට මිනිස්සුන්ගෙ ජීවිතවලට එබිලා බලල ඒ ජීවිතවල තියෙන ලස්සනම මතක සොරාගන්නවලු.

හොරකම කියන්නේ අනුන්ගෙ දෙයක් අවසරයකින් තොරව තමන්ගෙ කරගන්න එක. මගෙ ජීවිතේට විටින් විට මිනිස්සු විවිධ චරිත විදියට ඇතුළු වෙනවා. නෑදෑයෝ, යාළුවො, ගුරුවරු, නාඳුනන්නෝ... මේ හැමෝම මොකක්හරි මතකයක් මගෙ ළඟ පරිස්සමට තියල මගෙ ජීවිතෙන් ඈත් වෙලා යනවා. සමහර මතක හ‍රිම ආදරණීයයි, සමහර ඒවා නිසා දුක හිතෙනවා, සමහර ඒවා ජුගුප්සාජනකයි. මගෙ කැමැත්තෙන් වගේම මගෙ අකමැත්තෙනුත් මගෙ ළඟ මතක ඉතුරු කරලා යනවා. ඒ හැම මතකයක්ම මම පරිස්සමට අරන් තියනවා, ඉල්ලුවොත් ආපහු දෙන්න. ඒත් මගෙ ජීවිතෙන් ඇත් වෙලා ගිය කවුරුවත් ඒ මතකයන් ගන්නවත් ආපහු ආවෙ නෑ, කවදාවත්ම.

ඉතින්, දැන් මගෙ ළඟ මතකයන් මහා ගොඩක් එකතු වෙලා. ඉතුරු වෙලා තියෙන්නෙත් ඒ මතකයන්ම විතරයි. මම මතකයන් එකතු කරන්නියක් වෙලා..
ඒත් මම මතකයන් සොරාගන්නියක්ද..? 

Friday, June 25, 2010

අහිංසක..


නොදැන අනාගත නොපනත්කම් 
මිනීමරු සිතිවිලි
බියකරු ගර්ජන 
කෙළින සැටි බලව 
අහිංසක
නිර්මල පැටි ආත්මයෙන්
කෙළිදෙලෙන්.. 

Wednesday, June 23, 2010

පෙම් හබයක්!

කවිය යනු කිමැයි..
සොඳුර නුඹ අසයි..
නුඹේ නුවන් මත මා දෑස සැතපෙනා නිසසල රාත්‍රියේ..
කවිය යනු,
නුඹම මැයි..
නුඹට එය නොවැටහෙයි..
ඉතින් පෙම් හබයක්!

Sunday, June 13, 2010

අපේ දරුවෝ

අපිත් එක්කම ඉපදිලා
අපි වගේම
හීන දකින්න
ලෝකය හඳුනාගන්න
මල් සුවඳ විඳින්න
කුරුළු ගී අහන්න
ආදරය ලබන්න
පෙරුම් පුරලා
අපිට හුඟාක් කලින් ලෝකය අතැරලා යන
අපේ දරුවෝ

Saturday, June 12, 2010

රැළි වැටුණු ආත්මය


තත්පරයෙන් තත්පරය
පසු කර ආයෙමි,
ආදරය
සෙනෙහස
කවිය
කඳුල
වෙහෙසින් බලා ඉඳිමි එන තුරා
තවමත්
ජීවිතය..

Friday, June 11, 2010

ලාන්ස්ලොට්ලාට ඇබෑර්තු ඇත

මකරු, යෝධයෝ, පෝරිසාදයන්ගේ ක්‍රෑර බලයට යටපත් වෙලා ජීවිත අපායක් කරගත් සාමාන්‍ය මිනිස්සු ඉන් ගලවගන්න සුරංගනා කතා වලදී ලාන්ස්ලොට් නයිට්වරයා එනවා වගේ, වර්තමාන සමාජයේ අපි වැටිලා ඉන්න නරා වළෙන් ගොඩගන්න අපිව හොයගෙනත් ලාන්ස්ලොට් කෙනෙක් ඒවිද? කවදාවත් යථාර්තයක් වෙන්නෙ නැති බව දන දැනත්, අපේ හිතේ කොණක ඒ පුංචි අහිංසක හීනෙ හැමදාමත් දැල්වෙමින් තියෙනවා. ඒ මිනිස්සුන්ගේ හැටි. එහෙම පුංචි බලාපොරොත්තුවක්වත් නැති වුණොත් මිනිස්සුන්ට ජීවත් වෙන්න හේතුවක් නැති වෙනවා.
ඒත් මේ මිනිස්සු ඇත්තටම ලාන්ස්ලොට් කෙනෙක්ව තමන්ගෙ කරගනීවිද කියන එකත් ලොකු සැකයක්. පවතින ජීවන රටාවට, ඒ රටාවේ තියෙන කුහකකම්, වන්චනිකකම්, ආත්මාර්තකමීකම්වලට මිනිස්සු කොච්චර පුරුදු වෙලාද, අනුගත වෙලාද කියනවනම්, තමන්ව ඒකෙන් ගලවගන්න හදන එක තමන්ට කරන විපතක් විදියට නිගමනය කරනවා. ඉහළින් ඉන්න මකරගෙම පුංචි අනුරුවක් තමන්ගෙ ඇතුළෙ උපදිද්දි එකෙන් තමන්ගෙ ආත්මයට වෙන විපර්යාසය තේරුම් ගන්න තරම් මිනිස්සු පරිස්සම් වුනේ නෑ. දැන් ඒ මකරා තමන්ගෙ මුළු ආත්මයම ක්‍රමයෙන් ගිලගන්න හැටි, ඒක තමන්ට වෙන යහපතක් විදියට හිතල බලාගෙන ඉන්න තරම් මිනිස්සු නිවට වෙලා. බලාගෙන ඉන්නවා විතරක් නෙමෙයි, ප්‍රීති ඝෝෂා කරමින් තමන්ව ගිලගන්න මකරට අනුබල දෙනවා. ඉතින් මේ දැවැන්ත මකරා මර්දනය කරන්න පුළුවන්වෙන්නෙ පුංචි ලාන්ස්ලොට් කෙනෙක්ව තමන්ගෙ ඇතුළෙ උපද්දවගන්න තරම් මේ මිනිස්සු ළඟ මනුස්සකම ඉතිරිවෙලා තියෙනවනම් විතරයි. ඒත් මට හිතෙන්නෙ ඒක හීනයක් විතරයි.
මේවගේ හීනයක් දකින්න තරම් අපිව ලෝකයට විවුර්ත කළාට යෙව්ගෙනි ශ්වාර්ට්ස්ට වගේම ප්‍රවීණ නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායකටත් ස්තුතිවන්ත වෙන්න ඕනි. මට දැනෙන විදියට අපි අපේ ලාන්ස්ලොට්ව හොයන්න පටන්ගන්න ඕනි එතනිනුයි.

Tuesday, June 8, 2010

ඔබ..

හිරුය ඔබ
ලොවට ජීවය සදන..
සඳු වෙමි මම
ඔබෙන් ජීවය ලබන
..
ජීවිතය හඳුනාගත් ඇසිල්ලෙහිම
ගෙල වළලුයේ කිම
ආදරයේ..

ජීවිතය..

හිරු පිනි බිඳුවක් එළිය කරයි
මොහොතින් ඒ පිනි බිඳුව වියැළී යයි
වියැළී ගියද කම් නැත
මොහොතක් හිරුගේ පහස ලැබ

ज़िंदगी

ये ज़िन्दगी आपकी ही अमानत रहेगी..
दिल में साधा आपकी ही मोहब्भाथ रहेगी..
इन सान्सोको आपकी ही ज़रूरत रहेगी..
इस दिल की नादानीया माफ़ हो..

Sunday, June 6, 2010

Because there is no guarantee that this life will be easy,



When my world is falling apart,
When there is no light to break up the dark,
That's when I look at you.

When the waves are flooding the shore,
and
I can't find my way home anymore,
When there is no guarantee that this life will be easy,
That's when I look at you.






රස්තියාදුව..

ජීවිතේ කියන්නේ රස්තියාදුවක්
ඒ රස්තියාදුව ඇතුළෙ අපිට මුණගැහෙන සමහරුන්ගේ ජීවිත කොයිතරම් විසාලද කියනවනම්,
දෑතින් බදල අල්ලන්න බැරි තරම්..
ඒ ජීවිතවලට අත තියන එක මහා බරක්..
ඒත් ඒක තමයි ජිවිතේ හැටි..

Tuesday, June 1, 2010

මගේ සඳ ඔබ..

You were not created as a copy..
You were born an original..
You are unique in your own special way..
and
You give all that specialty out to the world..

You truly are a very special man..

A man who shares his everything unconditionally ..
A man who live with what he truly feels..
A man who struggles to make a difference..
A man who teach us what life is..

Sunday, May 30, 2010

Life.. A Painting

Life
is like a painting..
Each day of it
is an art yet to be designed..
Your strengths are the colours you can use..
to make it a classical piece.

Tuesday, May 25, 2010


May all will see the endless suffering floating around us..

සොයා යාම..



සොයා යන්න ඔබව..
පුදුම හිතෙන දේ මුණගැසේවි අතරමගදී..
අවසානයේ
ඔබට ඔබ මුණගැසේවි..
විසල් පුදුමය එයයි..