Friday, June 11, 2010

ලාන්ස්ලොට්ලාට ඇබෑර්තු ඇත

මකරු, යෝධයෝ, පෝරිසාදයන්ගේ ක්‍රෑර බලයට යටපත් වෙලා ජීවිත අපායක් කරගත් සාමාන්‍ය මිනිස්සු ඉන් ගලවගන්න සුරංගනා කතා වලදී ලාන්ස්ලොට් නයිට්වරයා එනවා වගේ, වර්තමාන සමාජයේ අපි වැටිලා ඉන්න නරා වළෙන් ගොඩගන්න අපිව හොයගෙනත් ලාන්ස්ලොට් කෙනෙක් ඒවිද? කවදාවත් යථාර්තයක් වෙන්නෙ නැති බව දන දැනත්, අපේ හිතේ කොණක ඒ පුංචි අහිංසක හීනෙ හැමදාමත් දැල්වෙමින් තියෙනවා. ඒ මිනිස්සුන්ගේ හැටි. එහෙම පුංචි බලාපොරොත්තුවක්වත් නැති වුණොත් මිනිස්සුන්ට ජීවත් වෙන්න හේතුවක් නැති වෙනවා.
ඒත් මේ මිනිස්සු ඇත්තටම ලාන්ස්ලොට් කෙනෙක්ව තමන්ගෙ කරගනීවිද කියන එකත් ලොකු සැකයක්. පවතින ජීවන රටාවට, ඒ රටාවේ තියෙන කුහකකම්, වන්චනිකකම්, ආත්මාර්තකමීකම්වලට මිනිස්සු කොච්චර පුරුදු වෙලාද, අනුගත වෙලාද කියනවනම්, තමන්ව ඒකෙන් ගලවගන්න හදන එක තමන්ට කරන විපතක් විදියට නිගමනය කරනවා. ඉහළින් ඉන්න මකරගෙම පුංචි අනුරුවක් තමන්ගෙ ඇතුළෙ උපදිද්දි එකෙන් තමන්ගෙ ආත්මයට වෙන විපර්යාසය තේරුම් ගන්න තරම් මිනිස්සු පරිස්සම් වුනේ නෑ. දැන් ඒ මකරා තමන්ගෙ මුළු ආත්මයම ක්‍රමයෙන් ගිලගන්න හැටි, ඒක තමන්ට වෙන යහපතක් විදියට හිතල බලාගෙන ඉන්න තරම් මිනිස්සු නිවට වෙලා. බලාගෙන ඉන්නවා විතරක් නෙමෙයි, ප්‍රීති ඝෝෂා කරමින් තමන්ව ගිලගන්න මකරට අනුබල දෙනවා. ඉතින් මේ දැවැන්ත මකරා මර්දනය කරන්න පුළුවන්වෙන්නෙ පුංචි ලාන්ස්ලොට් කෙනෙක්ව තමන්ගෙ ඇතුළෙ උපද්දවගන්න තරම් මේ මිනිස්සු ළඟ මනුස්සකම ඉතිරිවෙලා තියෙනවනම් විතරයි. ඒත් මට හිතෙන්නෙ ඒක හීනයක් විතරයි.
මේවගේ හීනයක් දකින්න තරම් අපිව ලෝකයට විවුර්ත කළාට යෙව්ගෙනි ශ්වාර්ට්ස්ට වගේම ප්‍රවීණ නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායකටත් ස්තුතිවන්ත වෙන්න ඕනි. මට දැනෙන විදියට අපි අපේ ලාන්ස්ලොට්ව හොයන්න පටන්ගන්න ඕනි එතනිනුයි.

No comments:

Post a Comment