Sunday, October 23, 2011

දෙවැනි තැන

ඔයා පස්සට යන්න
එයාට මෙතන දෙන්න
ඔයා දෙවෙනියා
එයයි පළවෙනියා...

එයාට කිව්වා
ඔයාට කියන එකේ තේරුමක් නෑ
පලක් නෑ
ඔයා දෙවෙනියා
එයයි පළවෙනියා...

ෆිල්ම් එක බලන්න මම එයා එක්ක ගියානේ
දැන් මං ගිහින් ඉවරයි
ඔයා යන්න අම්මා එක්ක
ඔයා දෙවෙනියා විතරයි...

මම හිරකරගත්තා
පැලෙන්න ආදරේ කළා
ඒත් පියාඹල ගියා
පළවෙනියා...

දැන් මං ආදරේ කරලත් ඉවරයි
ඔයා අවශ්‍යතාවයක් විතරයි
ඒක තේරුම් ගන්න
තේරුම් අරන් මා එක්ක ඉන්න
ඔයා දෙවෙනියා
එයා හැමදාමත් පළවෙනියා...

Tuesday, September 13, 2011

ජීවිතය...

මාවතේ ගීතයකි
නිසරු දේ හඹා යන..
එළිපත්ත මතදී
මරණයේ..
මගහැරී ගිය
ජීවන හුස්ම පොද
අයදින..

Wednesday, September 7, 2011

ආදරය...

කළු කුහරයක්
අනන්තය නොපෙනෙන
වැළඳගත් සියල්ලන්
සදහටම
නොපෙනී යන

තණකොළ මලක්
ජීවිතයට 
හුස්ම පිඹින
අනන්තය තෙක් විහිදුණ
කතරක පිපුණ 

Saturday, September 3, 2011

අපේක්ෂා...

පිපාසය නිවූ 
පැන් කෙණ්ඩිය
බිම වැටී 
සුණු විසුණු වී ගොස්....

ඉහිරුණු දිය පොදක්
බිඳුවෙන් බිඳුව
එක් කොට 
ඉරිතැලුණු දිව තෙමාගන්නට
දරන වෙහෙසක්! 

Tuesday, May 10, 2011

අහිමි වීම

අපි ළඟින් ඉන්න කෙනෙක් නැති වෙනකල්ම අපි ඒ අයට මොන තරම් ආදරෙයිද කියල අපිට තේරෙන්නේ නෑ..
ඒත් එහෙම කෙනෙක් අපෙන් ටික කාලෙකට හරි ඈත් වුණොත්.. 
කෑ ගහල අඬන්න හිතුනත් ඒක කරන්න අපිට නිදහසක් නැත්නම්..
කාට හරි කියල නිදහස් වෙන්න හිතුවත් ඒකට අපිට අයිතියක් නැත්නම්..
ඉන්න තැනක් හොයාගෙන දුවගෙන ගිහින් තුරුල් කරගන්න හිතුවත් අපේ කකුල්වලට දම්වැල් දාලනම්.. 
අපිට අපිව නැතිවෙනවා..
හැමදේම නැතිවෙනවා..
ජිවිතේ කවදාවත්ම ආලෝකයක් දකින්න නැති කළු කුහරයක් වෙනවා..

Wednesday, April 27, 2011

චරිත..

ජීවිතේ කියන්නේ මහා පුදුම දෙයක්. එක එක විදියේ මිනිස්සු මුණගැහෙනවා. සමහරු ඇවිත් යනවා.. සමහරු අපිටත් කලින් ඇවිත් දිගටම අපිත් එක්ක ඉන්නවා.. 
ඒත් සමහරු...
සමහරු එන්නේ නෑ. යන්නෙත් නෑ. ඒ අය අපේ දවස් වෙනස් කරනවා. 
සමහර වෙලාවට දවස ලස්සන කරනවා. වසන්ත කාලේ නිල් කැටේට වතුර පිරුණු පොකුණක් ළඟ රෝස පාට, කහ පාට, නිල් පාට පුංචි පුංචි මල් ඉහිරුණු ලා කොළ පාට තණ බිස්සක වාඩි වෙලා කණ්ණාඩියක් වගේ වතුර දෙබෑ කරගෙන සුදු පාට හංසයෝ රෑනක් පීනන දිහා බලාගෙන ඉන්නවා වගේ.. සරත් කාලේ කහ පාට, තැඹිලි පාට, රතු පාට පාවාඩයක් එළුවා වගේ පාරක පාට පාටින් හැඩවුණු තුරු වියනක් යටින් ඈතට ඈතට ඇවිදගෙන යනවා වගේ.. ගිම්හාන කාලේ පලතුරු පිරුණු කැලෑවක් මැද්දෙන් ඇවිදගෙන යනකොට පුංචි හා පැටවූ ඇවිත් අපිත් එක්ක කතා කරනවා වගේ.. එහෙමත් නැත්තං සිසිරයේදී සුදු පාටින් හිම වැහිච්ච කඳු පන්තියකින් වටවුණු තැනිතලාවක පුංචි ලී ගෙදරක් ඇතුළෙ ගිනි මැලයක් ළඟ උණුහුමට ගුලි වෙලා අපි ආසම නවකතාව කියවනවා වගේ.. 
ඒත් සමහර වෙලාවට...
හොඳටම වැහැල මුළු ලෝකෙම පාලු මුසල මඩගොහොරුවක් වෙච්ච දවසක කුඩයකුත් නැතුව තෙමි තෙමි, බඩගින්නේ, කොච්චර හෙව්වත් කවදාවත් හම්බවෙන්නේ නැති දෙයක් හොයාගෙන ගොඩාක් දුර ඇවිදින්න වුණා වගේ අපේ දවස මුස්පේන්තු කරලා දානවා.
අප‍ ජීවිතේට ගොඩාක්ම බලපෑම් කරන්නේ මේ චරිත. එන්නෙත් නැති යන්නෙත් නැති චරිත. ඇත්තටම ඒක ඒ අයගේ වරදක් නෙමෙයි. මේ අය දන්නෙත් නෑ ඒගොල්ලෝ අපේ ජිවිත මේ තරම් වෙනස් කරනවා කියල..
මේ චරිත අපේ ජීවිතේට ඇතුළු වෙන්නේ නෑ, ඒත් අපේ ජීවිතෙන් අයින් වෙලා යන්නෙත් නෑ. හැමදාමත් අපේ ජිවිතේ එළිපත්ත උඩ ඉන්නවා. 
හැමදාමත් එළිපත්ත උඩ...     

Thursday, April 21, 2011

All men can be divided in to two categories…

  •      Men who understands everything of their loved ones but chooses to ignore them    for their advantage.
  •       Men who truly do not understand their loved ones… Morons…

             I have begun to feel sorry for both categories… Because they do not realize what they are missing until it is too late….