Saturday, March 17, 2012

අවසන් කව

සිදී ගිය දිය කඩිත්තක් මම 
නැත ප්‍රේමයේ එක සුළං පොදක්
ජීවිත මේඝය කැන්දන් එන්නට

සොඳුරු සිතුවිලි මැකී ගිය සඳ
හිරිවැටුණු ආත්මය සතපවන්නට
අඳුරු මිනී වළක් කණිමි මම 

මහන්සියි 
මහන්සියි ජීවිත මිරිඟුව හඹා ගොස්

නෙතු පියා සිහිනයක සැනසුම ලබන්නට
නැලවිලි ගීයක් ගයන්නට
ආදරෙන් හිස පිරිමදින්නට
කෙනෙකු නොමැති කල
පුපුරා හැලෙයි ආත්මය

කැට කැබිලිති පිරුණු ගොහොරු කළල් බිම
වැතිර හිඳිමි දැන්
ප්‍රේමය සොයා ඇවිද සියක් ගව් දුර  
වෙහෙසයි අපමණ දෙපයට

විරාමය දිය යුතුයි
ඉතින් මේ දිවියට

Wednesday, November 2, 2011

ජීවත් වන්නට තවත් මොහොතක්...

ගමනක් යමි
පුරන්ව දා ගිය 
කෙත්වතු මතින්...

කෙතේ කොණක 
සිදී ගිය දිය කඩිත්තක
තිප්පිලි පැටියෙක්
ජීවිතය ඉල්ලා සටනක...

Sunday, October 23, 2011

දෙවැනි තැන

ඔයා පස්සට යන්න
එයාට මෙතන දෙන්න
ඔයා දෙවෙනියා
එයයි පළවෙනියා...

එයාට කිව්වා
ඔයාට කියන එකේ තේරුමක් නෑ
පලක් නෑ
ඔයා දෙවෙනියා
එයයි පළවෙනියා...

ෆිල්ම් එක බලන්න මම එයා එක්ක ගියානේ
දැන් මං ගිහින් ඉවරයි
ඔයා යන්න අම්මා එක්ක
ඔයා දෙවෙනියා විතරයි...

මම හිරකරගත්තා
පැලෙන්න ආදරේ කළා
ඒත් පියාඹල ගියා
පළවෙනියා...

දැන් මං ආදරේ කරලත් ඉවරයි
ඔයා අවශ්‍යතාවයක් විතරයි
ඒක තේරුම් ගන්න
තේරුම් අරන් මා එක්ක ඉන්න
ඔයා දෙවෙනියා
එයා හැමදාමත් පළවෙනියා...

Tuesday, September 13, 2011

ජීවිතය...

මාවතේ ගීතයකි
නිසරු දේ හඹා යන..
එළිපත්ත මතදී
මරණයේ..
මගහැරී ගිය
ජීවන හුස්ම පොද
අයදින..

Wednesday, September 7, 2011

ආදරය...

කළු කුහරයක්
අනන්තය නොපෙනෙන
වැළඳගත් සියල්ලන්
සදහටම
නොපෙනී යන

තණකොළ මලක්
ජීවිතයට 
හුස්ම පිඹින
අනන්තය තෙක් විහිදුණ
කතරක පිපුණ 

Saturday, September 3, 2011

අපේක්ෂා...

පිපාසය නිවූ 
පැන් කෙණ්ඩිය
බිම වැටී 
සුණු විසුණු වී ගොස්....

ඉහිරුණු දිය පොදක්
බිඳුවෙන් බිඳුව
එක් කොට 
ඉරිතැලුණු දිව තෙමාගන්නට
දරන වෙහෙසක්! 

Tuesday, May 10, 2011

අහිමි වීම

අපි ළඟින් ඉන්න කෙනෙක් නැති වෙනකල්ම අපි ඒ අයට මොන තරම් ආදරෙයිද කියල අපිට තේරෙන්නේ නෑ..
ඒත් එහෙම කෙනෙක් අපෙන් ටික කාලෙකට හරි ඈත් වුණොත්.. 
කෑ ගහල අඬන්න හිතුනත් ඒක කරන්න අපිට නිදහසක් නැත්නම්..
කාට හරි කියල නිදහස් වෙන්න හිතුවත් ඒකට අපිට අයිතියක් නැත්නම්..
ඉන්න තැනක් හොයාගෙන දුවගෙන ගිහින් තුරුල් කරගන්න හිතුවත් අපේ කකුල්වලට දම්වැල් දාලනම්.. 
අපිට අපිව නැතිවෙනවා..
හැමදේම නැතිවෙනවා..
ජිවිතේ කවදාවත්ම ආලෝකයක් දකින්න නැති කළු කුහරයක් වෙනවා..